"නෑඹුල් තෙල්" යන වචනය යොදා ගැනෙන්නේ, යම් පලතුරක හෝ ගෙඩියක ඇති පෝෂණ ගුණ එලෙස ම ආරක්ෂා කරමින් තෙල් සිඳගත් විටයි. උදාහරණයකට, පලා වර්ගයක් හෝ එළ්වලු ඉහළ උෂ්ණත්වයේ පිසගත් විට විටමින්, ප්‍රති-ඔක්සිකාරක ආදිය නැති වී, පෝෂකයන්ගේ ප්‍රමාණයන් මඳක් වෙනස් වීම දැක්විය හැක.
එලෙස ම, නෑඹුල් තෙල් (පොල්, ඔලිව්) යනුවෙන් තෙල් වර්ගයක් නම් කළ විට ඉන් අදහස් වන්නේ, නැවුම් පලතුරු හෝ ගෙඩි කිසිදු රත් වීමකින් තොර ව සිඳගත් බවයි (එය හරියට අත්ලෙන් පීඩනයක් යොදා හෝ සෙක්කුවකින් තෙල් සිඳ ගත්තා වගෙයි ). තව ද යොදා ගැනෙන පලතුර / ගෙඩිය නැවුම් තත්වයේ තිබිය යුතුය. නෑඹුල් පොල්තෙල්වල දී නම්, එය කොප්පරාවලින් නොවිය යුතුය. නැවුම් පොල් පමණක් භාවිත කරයි. තව ද පොල් මදයේ තෙතමනය ඉවත් කිරීමට රත් කිරීමක්, කර දැවීමක් සිදු නොකරයි.
සාමාන්‍යය පොල්තෙල් හෙවත් කොප්පරා පොල්තෙල් (සුදු පොල්තෙල්) සාදා ගන්නේ අව්වේ වේලාගත් පොල් මද(හෙවත් කොප්පරා) ඇඹරුම් යන්ත්‍රයක් මගින් සිඳ ගැනීමෙනි. මෙහිදී ඇතිවන ඉහළ පීඩනය හා ඉහළ උෂ්ණත්වය නිසා විටමින්, ප්‍රති-ඔක්සිකාරක ආදිය ඉවත් වේ. කොප්පරා වියලීමේදී දූවිලි, විෂබීජ, සතුන් කුරුල්ලන් හා ගැටීම සිදුවිය හැක. විශ්වසනීය ම ආකාරය, ගෙදර දී කොප්පරා සිඳගෙන හඳුනන පොල්තෙල් මෝලකින් කොප්පරා පොල්තෙල් සිඳ ගැනීමයි.
සුදු පොල්තෙල් යන යෙදුම පාවිච්චි වන්නේ, කොප්පරා පොල්තෙල් අවර්ණ හෝ සුදු පැහති නිසා නොවෙයි. කොප්පරා පොල්තෙල් මඳක් කහ පැහැති නමුත්, සුදු පොල්තෙල් යන නම කියන්නේ, එය සුදු පොල් මදයෙන් සිඳගත් නිසයි. මොකද කුරුට්ටෙන් පමණක් (සුදු පොල් මදය වටේ දුඹුරු පැහැ කොටස ) සිඳින "කුරුටු තෙල්" යන තවත් විශේෂයක් ඇත.
එබැවින් අවර්ණ වුවත් "නෑඹුල් පොල්තෙල්" යනු "නෑඹුල් පොල්තෙල්" ම වේ. සුදු පොල්තෙල් යනු වෙනකකි. සුදු පොල්තෙල් යනු කොප්පරා පොල්තෙල් වේ.
කොප්පරා පොල්තෙල් ද හොඳ පොල්තෙල් විශේෂයක් මුත්, භයානකකම ඇත්තේ, ප්‍රමිතියකින් තොර නිෂ්පාදනාගාර තුළ, ඉතා අධික උෂ්ණත්වවලට රත් වීමත්, තෙල් කර වූ පසු, මඩ මෙන් දුඹුරු පැහැ ඉවත් කිරීමට හා කර ගන්ධය ඉවත් කිරීමට රසායනයන් භාවිතය නිසයි. තව ද ඉතා අධික උෂ්ණත්වයකට රත් වීමේන් බෙන්සොපයිරින් නමැති පිළිකා කාරකය තෙල් වල ඇති වේ (මෙය එළ්වළු තෙල්, කුකින් ඔයිල් ඕනෑ ම තෙල් වර්ගයකට පොදු කරුණකි )
භෞතීයව පිරිපහදු (RBD) කිරීම යනු, කිසිදු රසායනයකින් තොර ව, සක්‍රීය කාබන්, ලුණු වතුර, හුමාලය, තාපය යොදා ගනිමින් ඕනෑම පොල්තෙල් වර්ගයක් පිරිසිදු කිරීමයි. එය හරියට, තැනින් තැනින් එකතු කළ වතුර, රත් කර, නටවා, අඟුරු කැබල්ලක් එකතුකර, පෙරා, බීමට සුදුසු තත්වයකට පත් කිරීමක් වැනි ය. මෙමගින් පිළිකා කාරක ආදිය ඉවත් වී "බැදුම්වලට සුදුසු" පිරිසිදු තෙලක් සකසයි. විශේෂ සෞඛ්‍යය ප්‍රතිලාභ හෝ හිසකෙස්, සම පෝෂණයක් ගැන කිසිත් කීමට නොහැක.
බාල වර්ගයේ පාම් තෙල්, කිසිසේත් ආහාරයට නුසුදුසු කර්මාන්ත තෙල් කළවම් කිරීම ගැන කතා කර ඵලක් නැත.
විකුණුම් මිල (ලාභය සමඟ සිල්ලර මිලක්) ගැන දළ අදහසක්;
1. සුදු මදයෙන් පමණක් සිඳගත් නෑඹුල් පොල්තෙල් - ලීටරයක් සෑදීමට පොල් ගෙඩි 14ක් වැය වේ = රු 1000/=
2.සම්පූර්ණ මදයෙන් ම (සුදු මදය හා කුරුට්ට ) සිඳගත් නෑඹුල් පොල්තෙල් හෙවත් සෙක්කු පොල්තෙල් - ලීටරයක් සෑදීමට පොල්ගෙඩි 10ක් වැය වේ = රු 800/=
3. කොප්පරා පොල්තෙල් (සුදු පොල්තෙල්) හෝ පිරිපහදුකළ පොල්තෙල් - ලීටරයක් සෑදීමට කොප්පරා කිලෝ 2ක් වැය වේ. = රු. 600/=
ඉහත සඳහන් වන්නේ, වෙළඳසැලක ලාභයත් සලකා දළ වශයෙන් මිල දැන්වීමකි. පොල්තෙල් යැයි කියනා තෙල් ලීටරයක් රු 300 හෝ රු 200ක් වේ නම්, ඒ "යම් කිසි තෙලක්" මිස පොල්තෙල් නම් නොවෙයි.